03 01 2022ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් යාවත්කාලීන කරන ලද ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලැස්ම 2048 , 2023.06.17 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදි ගරු ජනාධිපති තුමාගේ සහභාගීත්වයෙන් රැස්වුණු ජාතික භෞතික සැලසුම් සභාව වෙත ඉදිරිපත් කරන ලදී.

එහිදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග මහතා විසින් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය. 

යාවත්කාලීන කළ ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය සහ සැලසුම - 2048 විධායක සාරාංශය පහත පරිදි වේ.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් අදාල පාර්ශ්වකරුවන්ගේ හා විෂය ප්‍රවීණයන්ගේ අදහස් හා යෝජනා ලබා ගනිමින්, ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය සහ සැලසුම යාවත්කාලීන කිරීම සිදු කර ඇත. තව ද, විවිධ ආයතනවල යාවත්කාලීන කරන ලද ප්‍රතිපත්ති සහ සැලසුම්, කොවිඩ් -19 වසංගතයේ හා ආර්ථික අර්බුධයේ ප්‍රතිවිපාක සහ දේශගුණික විපර්යාස පිළිබඳව වෙනස්කම් අන්තර්-රාජ්‍ය සමුළුව මගින් 2021 වසරේ දී නිකුත් කරන ලද වාර්තාව පිළිබඳව ද මෙම යාවත්කාලීන කිරිමේදි අවධානය යොමු කර ඇත.

 ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතුවල නියැලෙන සහ නියැලීමට හැකියාවක් ඇති සියලුම ආයතන සඳහා රටේ භෞතික පරිසරයට සෘජුවම බලපාන, භෞතික පරිසරයේ සංවර්ධනයට ආනුශංගික වන යටිතල පහසුකම් සංවර්ධනයට අදාල වන පහසුකම්, සුවපහසුකම් හා සේවා ස්ථාපිත කිරිමට අදාල වන සංවර්ධන කටයුතු සිදු කිරිමට හා ක්‍රියාත්මක කිරිමට පුළුල් ජාතික මට්ටමේ මාර්ගෝපදේශ රාමුවක් සැලසීම ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තියේ ප්‍රධාන පරමාර්ථය වේ.

රටක භෞතික පරිසරය, එම රටේ ජනතාවගේ සෞඛ්‍යය, ධනය සහ බලය පිළිබිඹු වේ. සංවිධිතව නිර්මාණය වු, කාර්යක්ෂමව කළමනාකරණය වු හා සාධනීය ලෙස භාවිතා වන භෞතික පරිසරය, රටක ජීවනෝචිත බවටත්, ආර්ථික සමෘර්ධියටත්, දේශපාලන ස්ථාවරත්වය වැඩි කිරිමට හේතුවන බව මෙයින් විද්‍යාමාන වේ.  එබැවින් හරිත ආර්ථිකයට පහසුකම් සලසමින් (“සැලසුම්ගත, තිරසාර සහ සෞභාග්‍යමත් ජාතියක්” යන දැක්ම ඇතිව) 2048දී  සංවර්ධිත රටක් කරා යන ගමනේදී සැලසුම්ගත භෞතික සංවර්ධනය අත්‍යවශ්‍ය වේ.

ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය ප්‍රධාන සංරචක හතරකින් සමන්විත වේ.

1. සංවේදි හා සුවිශේෂි පාරිසරික ප්‍රදේශ සංරක්ෂණය කිරීම: සියලුම සංවර්ධන කටයුතුවල දී අනන්‍ය හා සංවේදි පාරිසරික පිහිටීම් (ජල සම්පත, ස්වභාවික පරිසර පද්ධති හා භූ දර්ශන) වල සංරක්ෂණය හා එහි තිරසරභාවය සහතික කිරීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගැනීම. 

2. මිනිසුන් සහ අනෙකුත් ජීවීන්ගේ වාසය සඳහා හිතකර භෞතික පරිසරයක් නිර්මාණය: මානව ජනාවාස සැලසුම් කිරීමේ දී හිතකර දේශගුණික තත්ත්වයන්, ආපදාවලින් ආරක්ෂිත, මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා අත්‍යවශ්‍ය සේවා සහ සම්පත් ලබා ගැනීමේ හැකියාව අනුව මිනිස් වාසයට වඩාත් සුදුසු පරිසරයන් තෝරා ගැනීම.

3. පවතින සම්පත් හා පහසුකම් ප්‍රශස්ත ලෙස භාවිතය/උපයෝජනය: ආර්ථික ගැටළු සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ප්‍රකාශ කරන ලද තිරසාර සංවර්ධන ඉලක්ක ඉටුකර ගැනීම යන කරුණු සැලකිල්ලට ගනිමින්, අනාගත සංවර්ධන ක්‍රියාකාරකම්වල දී සම්පූර්ණයෙන්ම නව ව්‍යාපෘතිවල කෙරෙහි නැඹුරු නොවි, පවතින සම්පත් හා යටිතල පහසුකම් ප්‍රශස්ත ලෙස උපයෝගි කර ගැනීමට වැඩි අවධානයක් යොමු කිරීම. 

 4. විභව සම්පත් ගවේෂණය හා භාවිතයන් වැඩි දියුණුව: විවිධ හැකියාවන්ගෙන් හා අධ්‍යාපන මට්ටම්වලින් යුතු මානව සම්පතක් පිහිටි ප්‍රදේශ, ස්වභාවික සම්පත් සංචිත, දර්ශනීය පිහිටීම් වැනි අනෙකුත් සම්පත් ඇති ප්‍රදේශ සහ විවිධාංගිකරණය වූ සංවර්ධනයක් සඳහා තරගකාරි වාසියක් ලබාගත හැකි ස්ථාන ගවේෂණය කිරිමට අවධානය යොමු කිරිම.

2048 යෝජිත ජාතික භෞතික සැලසුමේ ප්‍රධාන අංගවලට පහත දැක්වෙන දෑ ඇතුළත් වේ:

අ.        පාරිසරික සංවේදී ප්‍රදේශ (මධ්‍යම, වෙරළබඩ සහ හුදකලා ප්‍රදේශ);

ආ.       ආරක්ෂක ප්‍රදේශ ජාලය - (පරිසර, උරුම, වනාන්තර, ජලය, කෘෂිකර්මය ආදී වශයෙන් බෙදා ඇත);

ඇ.       නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඒකරාශි වු කලාප, නිෂ්පාදන ප්‍රදේශ සහ දේශීය සහ අන්තර් ජාතික වෙළඳපල සම්බන්ධ කිරීම සඳහා යෝජිත ආර්ථික                      අක්ෂ;

ඈ.       ජනාවාස ධූරාවලිය: බහුමාන වාණිජ නගර, ජාතික නගර, සම්බන්ධිත නගර, නාගරික මධ්‍යස්ථාන, නාගරික සාමුහිත සහ ග්‍රාමීය පොකුරු;  

ඉ.        සමුද්‍රීය සහ ජලජ සම්පත් සංවර්ධනය කිරීම.

ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලැස්ම මගින්, රටේ සංවර්ධන අරමුණු සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම වෙනුවෙන් ප්‍රධාන අංශ සඳහා වූ ප්‍රතිපත්ති සහ උපාය මාර්ග, ක්‍රියාත්මක කිරිමේ ආයතන, ඉලක්ක කාල රාමු  හඳුනාගෙන ඇත. තව ද ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මක කිරිම සඳහා වන බාධාවන් හඳුනාගෙන එම බාධාවන් විසඳීම සඳහා වූ යෝජනා ද ඉදිරිපත් කර ඇත.     

 

යෝජිත ජාතික අවකාශීය ව්‍යුහය - 2048

 

 12