history01
ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් කවර හෝ ප්‍රදේශයක් සඳහා සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරිම පිණිස පළමු නෛතික ආවරණයක් ඉදිරිපත් කළ අවස්ථාව වනුයේ 1942 වසරේදී සංස්ථාපනය කරනු ලැබූ අනුරාධපුර සංරක්ෂණ ආඥාපනතයි. ලෝකයේ ඓතිහාසික වැදගත්කමකින් යුතු භූමියක් ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කළ ලොව පළමු පනත එය විය හැකිය. 1946 අංක 13 දරන නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත මගින් ස්ථාපති නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුවේ පළමු රජයේ නගර නිර්මාණක ලෙස පත්කරනු ලැබූයේ සංරක්ෂණ සැලැස්ම සකස් කිරීමේ කාර්යය පවරනු ලැබූ වාස්තු විද්‍යාඥ/නිර්මාණක ඔලිවර වීරසිංහ මහතාය.

history01දෙපාර්තමේන්තුවේ පළමු කාර්යය වූයේ අනුරාධපුර සංරක්ෂණ සැලැස්ම සකසා අවසන් කිරීමයි. එම සැලැස්ම පුජා භූමිය සහ නව නගරය ලෙස කොටස් දෙකකින් සමන්විත විය.

මුල් යුගයේ සකස් කළ අනෙකුත් සැලසුම් වූයේ

  • කොළඹ නගර ප්‍රධාන සැලැස්ම
  • පොලොන්නරුව නව නගර සැලැස්ම
  • පේරාදෙණිය විශ්වවිද්‍යාල ප්‍රදේශය ආවරණය කරමින් මහනුවර කලාපීය සැලැස්ම.

history03

අනුරාධපුර පූජා භූමි සැලැස්ම සඳහා 1986 වසරේදී රු. මිලියන 170ක් රජය වෙන්කළ බව මෙහි ලා සඳහන් කිරීම වටී. 2002 වසර දක්වා වූ එම ප්‍රතිපාදනය පූජා භූමියේ ජීවත්වූ පවුල් 1500 ක් පමණ දේවානම්පියතිස්සපුර නම් ජනාවාසයේ නැවැත පදිංචි කිරීම සඳහා යොදා ගන්නා ලදී. ඒ අනුව, කුරුණෑගල හංදිය ලෙසින් හැඳින්වූ ප්‍රදේශය පූජා භූමි කටයුතු සඳහා මුළුමණින්ම නිදහස් කරන ලදී. ඊට අමතරව මහියංගනය, දඹුල්ල, කතරගම, සේරුවිල, දෙවිනුවර, කැළණිය, මුතියංගනය, තොළුවිල, මුන්නේෂ්වරම් සහ අනෙකුත් පූජා භූමි වෙනුවෙන් සැලසුම් පිළියෙළ කර ක්‍රියාත්මක කරන ලදී.

එසේම ඕනෑම ප්‍රදේශයක් පුජා භූමියක් ලෙස සංවර්ධනය ලෙස ප්‍රකාශයට පත්කිරීමට හෝ නම්කිරීම සඳහා සහායයීමට ආඥාපනත මගින් දෙපාර්තමේන්තුවට බලය පවරා ඇත.

ඒ අනුව පූජා භූමි අවට පිහිටි නගරවල පමණක් නොව මාළිගාවත්ත වැනි නිවාස යෝජනා ක්‍රමවල සහ කුඩා නගර සදහා අවශ්‍ය ප්‍රජා ගොඩනැගිලි ඉදිකිරීම සඳහා දිවයින පුරාම නගර නිර්මාණ සිදුකරන ලදී.

history05 history06

history04

1972 වසරේදී, කොළඹ නගරය සහ තදාසන්න පෙදෙස් සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ඇතිව සැලැස්මක් සකස් කරන ලෙස රජය දෙපාර්තමේන්තුවට දැන්විය. එම දැනුම්දීම පරිදි දෙපාර්තමේන්තුව තුළ කොළඹ ප්‍රධාන සැලැස්ම නම් විශේෂ අංශයක් දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කරනු ලැබීය. දෙපාර්තමේන්තුව සකස් කළ ඉහත සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස 1978 දී නාගරික සංවර්ධන අධිකාරිය පිහිටුවනු ලැබීය. කොළඹ නගරයට අමතරව, සියලු මහ නගර සභා සහ නගර සභා නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස නාගරිස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කළ අතර ඒවාට බාහිර ඇතැම් ප්‍රදේශ ද නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.

එපරිද්දෙන් 1980 සිට 2000 දක්වා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පහත දැක්වෙන කරුණුවලට සීමා විය.

  • නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් නොකළ කුඩා නගර සඳහා නගර සැලසුම් හා ගොඩනැගිලි සැලසුම් සකස් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සැපයීම.
  • ගම් උදාව ප්‍රදර්ශන භූමි නිර්මාණය, ඉදිකිරීම සහ අධීක්ෂණය
  • පූජා නගර සැලසුම් සකස් කිරීම සහ රජය විසින් සපයනු ලබන මූල්‍යාධාර මගින් එම සැලසුම් ක්‍රියාත්මක කිරීම.

නිවාස හා නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් පත්කරනු ලැබූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිර්දේශ පරිදි, ජාතික භෞතික සැලැස්මක් සම්පාදනය කිරීමේ වැදගත්කම රජය අවබෝධ කරගත් බැවින් ජාතික භෞතික සැලැස්මක් සම්පාදනය කිරීමට රජයට හැකිවන පරිදි 2000 වසරේදී නගර හා ග්‍රාම නිර්මාණ ආඥාපනත සංශෝධනය කරන ලදී.

1946 ආඥා පනතේ සමස්ත දිවයින සඳහා ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම නියම කරනු ලැබූ වගන්තියක් අන්තර්ගතවූ නමුත්, 2000 වසරේ පනතේ විධිවිධාන පනවනු ලැබූයේ ජාතික භෞතික සැලසුම් සම්පාදනය කිරීමේ නෛතික ක්‍රියාදාමය සඳහාය. කෙසේවෙතත්, ආඥාපනතේ අනෙකුත් බොහෝ කර්තව්‍යයන් එලෙසින්ම පැවැතුණි. 2000 වසරේ සිට දෙපාර්තමේන්තුව සිදුකර ඇති විශාලතම කාර්යය වනුයේ ජාතික භෞතික සැලැස්ම සකස් කිරීම (2007) සහ එය ප්‍රතිශෝධනය කිරීමයි (2019). ඊට අමතරව, කලාපීය භෞතික සැලසුම් කිහිපයක්ද ප්‍රාදේශීය භෞතික සැලසුම් ගණනාවක්ද සකස් කරන ලදී.